Thursday, April 23, 2020

Santhoor - සන්තූර්










සන්තූර්
SANTOOR


පමල්ක මන්ජිත කරුණානායක

Pamalka Manjitha Karunanayake








ආයු බොහෝ වේවා !

මගේ පළමු ලිපිය ලියන්නයි හදන්නේ. මේ ලියැවෙන්නේ උත්තර භාරතීය සංගීතයේ එන ආකර්ෂණීය සංගීත භාණ්ඩයක් ගැන. මතකය අවුස්ස-අවුස්සා තමයි මම මේ වචන ගැටගහන්නේ, අපි බලමු මේ සංගීත භාණ්ඩය ගැන සවිස්තරව කතා කරන්න.
 ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ පාරම්පරික ජන සංගීත භාණ්ඩයක් ලෙස තමයි මේ සංගීත භාණ්ඩය අතීත කාලයේ ඉඳලා පැවතුණේ. ගොඩාක් අය කියන්නේ මේ සංගීත භාණ්ඩයේ ඉතිහාසය වේද යුගය දක්වා ම දිවෙනවා කියලා.
මම දැන් සංගීත භාණ්ඩය, සංගීත භාණ්ඩය කියනවාට වැඩිය නම කියන එක ලේසි නිසා නම කියන්නම්. මේ සංගීත භාණ්ඩය තමයි සන්තූර් කියන්නේ. දැන් ඔන්න පටලගන්න එහෙම එපා සන්තූර්‍ කියන සංගීත භාණ්ඩය ගැන මිසක් මෙන්න මේ සබන් වර්ගය ගැන එහෙම නෙවෙයි අපි කතා කරන්නේ.



 සිංහලයට එනකොට සන්තුරය කියලාත් කියවෙනවා. ‘ය’ යන්නක් ඕනෙ නැහැ සන්තූර් කියලා ම කියමු. මොකද මේ අපේ වචනයක් නෙවෙයි නිසා.
භාරතීය සංගීතයේ වීණා කියන වචනය ප්‍රසිද්ධ යි. අපිට එහෙම කියනකොට ම මතක් වෙන්නේ “වීණාව කියන්නේ සරස්වතී දේවී අතේ තියන්නේ ඒක නේද ?” කියලා. තත් වාද්‍ය භාණ්ඩ ඕනෑම එකකට අතීතයේ වීණා කියලා තමයි නම දීලා තියන්නේ. පැරැණි ම වීණාව තමයි ‘පිනාකී වීණා’ කියලා කියන්නේ. දුන්නෙන් ඊතලයක් විද්දට පස්සේ ඇහෙන ශබ්දය මුල් කරගෙන මේ පිනාකී වීණාව නිර්මාණය කළා කියලා සැලකෙනවා. සංස්කෘත භාෂාවෙන් ‘පිනාක්’ කියන්නෙ දුන්න. ඒ නිසා ඒ නම යෙදිලා තියනවා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති සන්තූර් සහ පිනාකී වීණාව අතර තියන සම්බන්ධය මොකක්ද කියලා. වීණා කියන භාණ්ඩ කුලකයේ තිබුණ එක් වීණාවක් තමයි ශතතණ්ත්‍රී වීණා කියලා කියන්නේ. ‘සියක් තත් ඇති’ කියන අදහසින් තමයි මේ නම යෙදෙන්නේ. මෙන්න මේ ශතතණ්ත්‍රී වීණාව අද වර්තමානයේ සන්තූර් ලෙස භාවිත වෙනවා කියලා තමයි පිළිගැනීම තියන්නේ. සන්තූර් කියන නම ෆාර්සී බසින් (පර්සියානු භාෂාවෙන්) මෙහෙම අර්ථ ගන්වන්න පුළුවන්.
                                                          සන් = සියය /  තූර් = තත්,

එහෙම නම හැදුණු මෙම සංගීත භාණ්ඩය මොන වාගේ ද කියලා අපි බලමු. මොකද කොහේ දී හරි දැක්කොත් සබන් කැටයට කළින් සංගීත භාණ්ඩය අඳුරගන්න හරි මේ සන්තූර් භාණ්ඩය දැකලා තියෙන්න එපැයි. ඊට පස්සේ අපි සන්තූර් හි කොටස් අඳුරගන්නත් උත්සාහයක් දෙමු.




 







මේ සංගීත භාණ්ඩය ට්‍රැපීසියම් හැඩයෙන් යුක්ත යි. පෙට්ටියක ආකාරයට තමයි ඒ හැඩය තියන්නේ. ඇතුළත කුහරයකින් යුක්ත යි. දකුණු පසින් සුසර කිරීමට යොදා ගන්නා වානේ කූරු දැක්වෙනවා. මේ ඉහත රූපයේ නොපෙනෙන පැතිකඩ, සන්තුර්‍ හි වම් පස කුඩා වානේ ඇණ යොදලා තමයි තත් බැඳලා තියන්නේ. එහෙම බැඳලා තියන තත් දකුණු පස තියන වානේ කූරු දක්වා ඇදලා ගැටගහලා තමයි තියන්නේ. ඒක නිකම් ගැටයක් නෙවෙයි සංගීතමය ගැටයක්. ලණු ගැටගහනවා වගේ නෙවෙයි.
ඒ අතරමැද ‘තබ්ලී’ කියලා නම් කරලා තියන ලී පෙට්ටියේ මතුපිට ‘ජවාරී’ නම් ලීයෙන් කරවන ලද තත් රඳවන දකින්න පුළුවන්. රඳවන 25 -31 අතර ප්‍රමාණයක් දකින්න තියනවා සාමාන්‍ය සන්තුර්‍ භාණ්ඩයක. තත්වල ආනතිය වමෙන් දකුණටත්, දකුණෙන් වමටත් මාරුවෙන් මාරුවට තියන්නේ. ඒක නිසා සන්තූර වාදනය ටිකක් නෙවෙයි ගොඩාක් දුෂ්කරයි. බිම වාඩි වෙලා, ඒකට නියමිත ආසනයෙන් සාමාන්‍ය ශාස්ත්‍රීය සන්තුර්‍ වාදනයක් පැයකට නොඅඩු කාලයක් පුරා දිවෙනවා.
සන්තූර් වාදනය කෙරෙන්නේ ‘ක්වාලම්’ නැමැති උපකරණයෙන්. (හින්දි බසින් ‘කලම්’ කියන්නේ නම් පෑනට.)  ඒක ඇත්දළවලින් හෝ ලීයෙන් තමයි කැටයම් කෙරෙන්නේ. ට්‍රැපීසියම් පෙට්ටිය නැත්නම් නාද පෙට්ටිය හදන්නේ සාමාන්‍යයෙන් මෙහි සඳහන් විදියට මල්බෙරි ලීයෙන්. ජවාරී කියන තත් රඳවන හදන්නේ රෝස්වුඩ් කියන ලී වර්ගයෙන්.
සාමාන්‍යයෙන් මෙහි එක් ස්වරයකට තත් 3 බැගින් තියනවා(සම්ප්‍රදායික). ඇතැම් අවස්ථාවල දී මන්ද්‍ර ස්වරවලට තත් තුනක්, මධ්‍ය ස්වරවලට තත් 2ක් සහ උච්ච ස්වරවලට තත බැගිනුත් යෙදෙනවා. මම ඇස් දෙකට දැකලා තියන සන්තුර්‍වල මේ කියන තත් ප්‍රමාණය වෙනස් විදියට භාවිත කරන අවස්ථා ද තිබිලා තියනවා. වාදකයාගේ කැමැත්ත තමයි. සම්ප්‍රදාය තමයි මම කළින් සඳහන් කලේ.




ඔන්න ඔය උඩින් තියන්නේ ජම්මු - කාෂ්මීර් ප්‍රාන්තයේ හිම සහිත කඳුකර ප්‍රදේශයක ඡායාරූප දෙකක්. සංචාරක කර්මාන්තයත් බොහොම සරුවට කෙරෙන, හිමෙන් වැහෙන, පිරිසිදු ජලය සහිත ගංගා උල්පත් තියෙන, නිම්න මිටියාවත්වලින් පිරුණු ලස්සන ප්‍රදේශයක් තමා ජම්මු - කාෂ්මීර් කියන්නේ. සන්තූර් භාණ්ඩය මෙහි උපත ලැබුවා කියලානේ කියන්නේ.
මගේ මතයට නම් මේ භාණ්ඩයේ හඬ හිම පියලිවල සෞන්දර්‍යාත්මක බව නිරූපණය වන විදියට තමයි නිර්මාණය වෙලා තියන්නේ. ඒ තරම් කන්කලුයි. සියවස් ගණනාවක් මේ ප්‍රදේශයේ ජන සංගීතයට සහාය වාද්‍ය භාණ්ඩයක් ලෙස තමයි සන්තූර් භාවිත වෙලා තිබුණේ.
‘සුෆියානා ම්‍යූසික්වී’ (Sufiana Musiqui) නැත්නම් ‘සුෆියානා සංගීතය’ කියන සුවිශේෂී සංගීත ආරයට තමයි ඒ එදා වාදනය කලේ. සූෆි දර්ශනය සමග ගොඩක් බැඳිලා තියනවා මේ සංගීත භාණ්ඩය අදටත්. ඒ කාලේ රටේ ඇතැම් අය මේ භාණ්ඩය දැකලාවත් නැහැ. නමුත් මෙම සංගීත භාණ්ඩය ඒකල වාද්‍ය භාණ්ඩයක් ලෙස කරළියට ඇවිත් අවුරුදු 100ක් නැහැ. ඒ කතාවට මුල පුරන ශ්‍රේෂ්ඨ චරිත ගැන අපි දැන් බලමු.
ජම්මු හි සිටි ‘පණ්ඩිත් උමා දත් ශර්මා’ නම් වූ සංගීතඥයාගේ (ගායකයෙක්, වාදකයෙක්; තබ්ලා, දිල්රුබා, හාර්මෝනියම්) සිතේ තිබූ අදහසක් තමයි මේ ජන සංගීත භාණ්ඩය ශාස්ත්‍රීය පදනමකින් ඒකල සංගීත භාණ්ඩයක් ලෙස ප්‍රසිද්ධ කරවන එක. ක්‍රි.ව.1938 ජනවාරි 13 ඔහුට දාව ඉපදුණු පුතා තමයි අද ලෝක ප්‍රසිද්ධ අග්‍රගණ්‍ය සන්තූර් වාදන ශිල්පියා, පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා. තාත්තා අවුරුදු 5 දී පුතාට ගායනය සහ තබ්ලා වාදනය උගන්වන්න පටන් අරගෙන තියෙනවා. තාත්තා ගායනය හැදෑරුවේ බණාරස් ඝරාණාවේ (ගුරුකුලයේ) පණ්ඩිත් බඪේ රාම්දාස් කියන අසහාය ගායන ශිල්පියාගෙන්.
පණ්ඩිත් උමා දත් ශර්මා වෙත ජම්මු-කාශ්මීර් හි ශ්‍රී නගර් නම් වූ නගරයේ ගුවන්විදුලි සේවයේ සංගීත අංශය 1950 දශකයේ මුල් භාගයේ දී භාර වෙනවා. ඊට පස්සේ එතුමා මොකද කරන්නේ, සන්තුර්‍ භාණ්ඩය ගැන පුළුල් අධ්‍යයනයක් කරලා තමන්ගේ පුතාට, ශිව් කුමාර් ශර්මාට උගන්වන්න පටන් ගන්නවා. එතකොට පුතාට අවුරුදු 13ක්. (ක්‍රි.ව.1951දී)
ශිව් කුමාර් ශර්මා මෙම සංගීත භාණ්ඩයට ගොඩාක් කැමති වෙනවා. ඒක නිසා ම ඔහු තමන්ගේ ප්‍රධාන විෂය ලෙස වැඩිදුර අධ්‍යාපනයට තෝරගන්නේ දුෂ්කර වූ, සන්තුර්‍ භාණ්ඩය. එයට හේතුව තමන්ගේ පියාගේ බලාපොරොත්තුව සහ මගපෙන්වීම. එතෙක් ඉන්දියාවේ කිසි ම තැනක ශාස්ත්‍රීය සන්තූර් ඒකල වාදනය සිදු කරලා නැහැ. ක්‍රි.ව.1955 දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වගේ ම, ඉන්දියාවේ වෙළඳ අග නගරය වන මුම්බායි හී දී ශිව් කුමාර් ශර්මා තමන්ගේ පළමු සන්තුර් වාදන ප්‍රසංගය ඉදිරිපත් කරනවා. ක්‍රි.ව.1960 දී එතුමා තමන්ගේ පළමු ශාස්ත්‍රීය වාදන ඇල්බමයත් නිකුත් කරනවා.
එතකොට ශාස්ත්‍රිය ඒකල සන්තූර් වාදනයක් පළමුව ම ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ එතුමාට ද? ඔව්!
ඊට කලින් ශාස්ත්‍රීය ඒකල සන්තුර් වාදන තිබිලා නැද්ද? නැහැ!  
හේතුව මොකක්ද? සන්තූර් සුෆියානා සංගීතයට සහ කාෂ්මීර් ජන සංගිතයට භාවිත කරපු සහාය වාද්‍ය භාණ්ඩයක් පමණයි.
සන්තූර් භාණ්ඩයට ආවේණික වාදන ශෛලියක් තිබුණා ද? ඔව්!
අපි දැන් ඒ ගැන බලන්න කලින් සන්තූර් වර්ග ගැන බලමු. ඇත්තට ම මේවා සිදර් (Zither) වර්ගයේ භාණ්ඩවලට තමයි අයත් වෙන්නේ.  මට හම්බවුණු වර්ග නම් 5 ක් තියනවා. ඒවා ඔක්කෝම ක්වාලම් වගේම උපකරණයකින් වාදනය කරන ඒවා. සිදර් වර්ගයේ භාණ්ඩ නම් ගොඩාක් තියනවා , නමුත් මම මෙතන දක්වන්නේ අර කලින් කිව්වා වගේ යකුළකින් ප්‍රහාර එල්ල කර ශබ්දය නිපදවා ගන්නා සංගීත භාණ්ඩ විතරයි. මම මෙතන නම සඳහන් කරනවා ඒත් එක්ක ම Youtube Link එකක් සඳහන් කරනවා එතකොට මේ කියන දේවල් හරියට ම මොනවාද කියලා බලාගන්න ඔබට ම පුළුවන්.
නැත්නම් ඉතින් මම කියවනවා කියවනවා විතරයි නේ !


 


1.      පර්සියානු සන්තූර්
(ඉරාන සන්තූර්)
මෙහි හැඩය වෙනස්. දිගින් අඩු
පළලින් වැඩි ස්වභාවයක් තියන්නේ.
හඬත් තියුණුයි. අරාබි සංගීතයේ
ආභාසය තියෙනවා කියලා දැනෙනවා
මෙහි හඬ ඇහෙනකොට ම.




2.      ඉන්දියානු සන්තුර්
(කාෂ්මීරී සන්තූර්)

ඒ භාණ්ඩය ගැන තමයි අපි දිගට ම කතා කලේ සවිස්තරාත්මකව.
මේ ගැන බලන්න අවශ්‍ය Youtube Link මම පස්සේ දෙන්නම්.





3.      හැමර්ඩ් ඩල්සිමර්
(Hammered Dulcimer)
                                                                                   
සිතර් (Zither) කියන භාණ්ඩ කුලකයට අයත්
මේ සංගීත භාණ්ඩය සන්තූර් එක වගේ ම යි.
නමුත් මේකේ පරිමන්දකයක් (Damper) දකින්න
පුළුවන්. ඒකෙන් පියානෝවකින් නැගෙන
ගති විඥානය (Dynamics) ලබා ගන්න පුලුවන්.
මවුන්ටන් ඩල්සිමර් කියලා තව භාණ්ඩයක්
තියෙනවා ඒක ගිටාර් එකක් වගේ මේකට සමාන නැහැ. පටලගන්න එපා
මුලට ඩල්සිමර් එකේ වර්ගය සඳහන් කරන්න ඕනෙ නිසා.
00.22 – 00.25 අතර කාලය හොඳට බලන්න ඒක තමයි මේ භාණ්ඩයේ වෙනස




4.      සිම්බලොම් (Cimbalom)
මේ මම දැකලා තියන හොඳම වාදනයක් වගේම ඔබ කල්පනා කරලා බලන්න එක වගේම තියන තත් සිය ගණනක් අතරේ නිවැරදි ස්වරය හොයාගෙන මේ තරම් වේගයෙන්, පිරිසිදුව, කන්කලුව, වාදනය මොන තරම් දුෂ්කර ද කියලා.


5.       යැන්ග්ක්වින් (Yangqin)
මේක අහනකොට ඔයාලට ම තේරෙයි මේක අයිති කොහෙට ද කියලා! සරලව ම කිව්වොත් ප්‍රසිද්ධ ම වාක්‍ය තමයි Made In China . මේ වීඩියෝව ඔස්සේ ඔයාලට පෙර අපි කතා කරපු භාණ්ඩ හැම එකේම භාවිත වන පොදු නාද උත්පදන ක්‍රම දක්වලා තියනවා.


දැන් අපි කතා කරමු සන්තූර් භාණ්ඩයේ වාදන ක්‍රමය ගැන.

සන්තූර් භාණ්ඩය අයිති වෙන්නේ භාරතීය සංගීත භාණ්ඩ වර්ගීකරණයට අනුව තත් වාද්‍ය භාණ්ඩ ගණයට. තත් වාද්‍ය භාණ්ඩ අතීතයේ වාදනය කලේ ගත්කාරි කියන ක්‍රමයට. ඒ කියන්නේ, ගායනය සඳහා තිබුණ රාග ගීත වෙනුවට, එම රාගයට අදාළ ව, භාණ්ඩයට උචිත පරිදි සකක් කරගත් ස්වර රචනාවක්. හැබැයි වචන නැහැ. සිතාර් සහ සරෝද් කියන භාණ්ඩ දෙකෙන් තමයි මේ ගත්කාරී ක්‍රමය ඇරඹෙන්නේ. ගත්කාරී ක්‍රමයට අයත් ගත් වර්ග කිහිපයක් තියනවා, ප්‍රසිද්ධ ම දෙක තමයි,
1.      මසීත්ඛානී ගත් - විලම්බීත්ලය සඳහා රචිත ගත්
2.      රසාඛානී ගත් - මධ්‍ය සහ ධෘතලය සඳහා රචිත ගත්
(මේවාට නියමිත විස්තර ගොඩාක් තියනවා. ඒවා මෙතැන දී මම කතා කරන්නේ නැහැ.)
මීට අමතරව මම අහලා තියනවා ෆිරෝස්ඛානී ගත් සහ අමීර්ඛානී ගත් කියලා වර්ග දෙකක් හැබැයි ඒ දෙක ගැන වැඩි විස්තර හමු වුණෙත් නැහැ. ඒ නිසා අපි ප්‍රධාන වර්ග දෙක විතරක් දැනගමු.
දැන් කවුද ඉස්සෙල්ලා ම ශාස්ත්‍රීය සන්තූර් වාදනයකට මුල පිරුවේ?
පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා!
එතුමාගේ පියාගේ නම මොකක් ද ? එතුමා කුමන ආකාරයේ සංගීතඥයේක් ද?
පණ්ඩිත් උමා දත් ශර්මා; ගායකයෙක් වගේම වාදකයෙක්.
අපිට අවශ්‍ය වැදගත් කරුණක් තමයි ඒක. ඇයි? පණ්ඩිත් උමා දත් ශර්මා ගායකයෙක්. ගායනයේ දී උගන්වනවා ප්‍රාචීණ, ඒ කියන්නේ පැරැණි ගායන ශෛලියක්; ධෲපද් කියලා. ඒක බොහොම ගාම්භීර වගේම අසීරු ගායන ශෛලියක්. කතාවටත් කියන්නෙ ධෲපද් එකක් ගායනා කරන්න අම්බරුවෝ 7 දෙනෙක්ගේ හයි හත්තිය ඕනෙ කියලා.
(https://www.youtube.com/watch?v=0dqUHAvfnIw) (මේ තියන්නේ ධෲපද් ගායනයක වීඩියෝවක්. බලන්නකෝ මොන තරම් වෙහෙසක් ද, කල්පනාවක් ඕනෙද කියලා සහ කොයි තරම් ගාම්භීරයි ද කියලා. ඒ වගේම සුමට තැන් ද තියනවා.)
පණ්ඩිත් උමා දත් ශර්මා පුතාට ගායනය ඉගැන්නුවා පොඩි කාලේ දී ම. පුතා නැත්නම් අපි දන්න පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා මොකද කලේ ? මේ ධෲපද් කියන ගායන ශෛලියේ එන කොටස් සහ ඛ්‍යාල් කියන ගායන ශෛලියේ එන කොටස් කළින් කිව්ව ගත්කාරී අංග එක්ක එකතු කරලා සන්තූරයට ආවේණික වාදන ශෛලියක් නිර්මාණය කළා. ධෲපද් ගායනයේ තියෙන නෝම්-තෝම් ආලාප ක්‍රමය, ලයකාරී ආදිය ඛ්‍යාල් සහ ගත්කාරී ක්‍රමයේ සියලු ම අංග එකතු කරලා එතුමා නිර්මාණය කරපු සන්තූර් වාදන ශෛලිය එම භාණ්ඩයට මනා ලෙස ගැළපුණා වගේ ම අහගෙන ඉන්න ඉතා ප්‍රිය වුණා.
සන්තූර් වාදනය කෙරෙන්නේ මොකෙන් ද? ක්වාලම් යුගලයෙන්
ක්වාලම් කියන්නේ වයලින් අළුව (බෝ) එක වගේ එකක් නෙවෙයිනේ. සිතාර් වාදනය කරන මිස්රාබ් එක වගේ එකකුත් නෙවෙයි. ඒක ලී හෝ ඇත්දළවලින් හදපු තරමක් දිග, ආනතියක් සහිත අගකින් යුත්, ග්‍රහණයේ පහසුව සඳහා මිටක් වැනි කොටසක් සහිත, කූරක් වැනි උපකරණයක්. හරියට ම මෙන්න මේ වගේ.
 















සාම්ප්‍රදායික සන්තූර් ක්වාලම්                
















 පර්සියානු සන්තූර් ක්වාලම්


මෙම උපකරණය ග්‍රහණය කරන ක්‍රමයක් තියනවා. නමුත් ඇතැම් අය එය නොසලකා හැරලා, මැජික් යෂ්ටියක් අල්ලනවා වගේ ක්වාලම් යුගලය ග්‍රහණය කරන අවස්ථාත් තියෙනවා. එතකොට ඒක වැරදියි. ඒ ගැන දැන් බලමු. මම පහළින් දක්වන්නේ ශාස්ත්‍රීය සන්තූර් වාදනයේ දී ක්වාලම් යුගලය ග්‍රහණය කරන ආකාරයේ නිවැරදි වැරදි බව බවත්, අනෙකුත් සිදර් පවුලේ සංගීත භාණ්ඩවල උපකරණ ග්‍රහණය කිරීම ගැන නොවන බව තරයේ සිහි තබාගන්න.



නිවැරදි ක්‍රමය







වැරදි ක්‍රමය









 














අපි දැන් කතා කරමු ඇයි ඒක වැරදි කියලා. හේතුව තමයි මේ භාණ්ඩයට වාදන ඉරියව්වක් තිබුණා පාරම්පරිකව. ඒක අධ්‍යයනය කරලා පණ්ඩිත් උමා දත් ශර්මා විසින් තමන්ගේ පුතාට ඉගැන්නුවේ මේ භාණ්ඩය ශාස්ත්‍රීය සංගීතයට ගෙන්න ඕනෙ නිසා. එතකොට භාණ්ඩයට අදාළ ශාස්ත්‍රීය නියමයන් තියෙන්නත් ඕනේ, රැකෙන්නත් ඕනේ.
මැදඟිල්ලත් මහපටැඟිල්ලත් අතර තියන අන්තර් සම්බන්ධතාවය, දබරැඟිල්ල හානි නොවන පරිදි මැද සිට ආරක්ෂා කරනවා. එතකොට තමයි නිවැරදිව අදාළ ශිල්ප ක්‍රම වාදනයට හැකි වෙන්නේ. සිතාර් භාණ්ඩයට ආවේණික ප්‍රහාර (strokes) ද,ර,දා,රා,දිරි ආදිය සන්තූර් භාණ්ඩයෙන් ක්වාලම් මගින් වාදනය වෙනවා. වැඩිපුර ම දකුණු අත තමයි භාවිත වෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ වම් අතට වැදගත්කමක් නැහැ කියන එක.
හිතූ හිතු විදියට පණ්ඩිත් ශිව් කුමාර් ශර්මාගේ ම ගෝලයින් ක්වාලම් ග්‍රහණය කිරීම ගැන එතුමා වරක් කළකිරීමෙන් මතක් කරලා තියෙනවා. මොකද එතුමා මෙහි ශාස්ත්‍රීය පුරෝගාමියා නිසා. මට නම නම් කියන්න බැහැ මොකද ඒක ඒ භාරතීය සංගීතඥයාට කෙරෙන අගෞරවයක් නිසා. එතකොට මේ කියන උපකරණයෙන් නැත්නම් ක්වාලම් එකෙන් පෙර සඳහන් කළ වාදන ශෛලියට අදාළ ශිල්පක්‍රම සියල්ල වාදනය කෙරෙනවා. (උදා: මීන්ඩ්, මූර්කි, කණ්,ජෝඩ්,ඣාලා, ආදී ලෙස) සන්තූර් වාදනයේ සරල සැකැස්ම මෙසේ දක්වන්න පුළුවන්.
1.      පූර්වාලාප්
2.      ජෝඩ් ආලාප්
3.      ජෝඩ් ඣාලා
4.      මසීත්ඛානී ගත්
a.       ස්ථායි
b.      මධ්‍යාලාප්
c.       අන්තරා
d.      උප්ජ්
e.      තාන්
5.      රසාඛානී ගත්
a.       ස්ථායි
b.      මධ්‍යාලාප්
c.       අන්තරා
d.      උපජ්
e.      තාන්
f.        සවාල්-ජවාබ්
g.       ඣාලා
h.      තිහායි සහ චක්‍රධාර්

මීළඟට අපි බලමු සන්තූර් භාණ්ඩය සුසර කරන ආකාරය. ඇත්තට ම කිව්වොත් ඒක ගැන කතා නොකරන තරමට හොඳයි මොකද ලෝකේ තියන සුසර කරන්න අමාරුම සහ වැඩි ම වේලාවක් ගත වන සංගීත භාණ්ඩවලින් එකක් තමයි සන්තූර් කියන්නේ. මේ සඳහා ඉතා ම තියුණු කර්ණේන්ද්‍රියක් අවශ්‍ය වෙනවා. මොකද එක ස්වරයට තත් 3 බැගින් තියන නිසා, එක ම හඬ තත් 3න් ම උපදින්නත් ඕනෙ නිසා, තත් 3 ම ඉතා සූක්ෂම ව සුසර කරගන්න ඕනේ.


 


දැන් ඔය ඉහත දැක්වෙන රූපය අයිති කෙනා කියන්නෙ, එක පැත්තක් කළ්‍යාණ කියන ඨාඨයේ ස්වරවලටත්, අනෙත් පැත්ත භෛරවී කියන ඨාඨයේ ස්වරවලටත් සුසර කරනවා කියලා. හැබැයි සාමාන්‍යයෙන් භාවිතයේ දී දකුණු පස තීරුව තමා වාදනය සඳහා තෝරාගත් රාගයේ ස්වරවලට අනුවයි ඉහළට සුසර කෙරෙන්නේ.
එතකොට රාගෙන් රාගයට සුසර කරන්න ඕනේ ද? ඔව් !
එහෙම නැතුව බැරි ද? පුළුවන්. අනිත් පැත්තක් තියන්නෙ ඒකට තමයි.
හැබැයි ඒ වැඩේ අමාරුයි වාදනය කරන්න ගියා ම. පුරුදු නැත්නම් මොලේ කොලොප්පන් වෙනවා. ඉහත රූපයේ දකුණු පස අයිනේ ම දැක්වෙන්නේ මෙහි තත් සඳහා නිර්දේශිත ලෝහ වර්ගය හා එහි විෂ්කම්භය.

ශාස්ත්‍රීය සන්තූර් වාදන ඉදිරියට ගෙන යෑමේ දී වැදගත් වන චරිත කිහිපයක් ඉන්නවා. අපි ඒ අය හඳුනාගනිමු. පළමුව දැක්වෙන්නේ භාරතීය ශිල්පීන්.
1.      පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා
2.      ආර්. විස්වේස්වරන්
3.      භජන් ලාල් සෝපෝරී
4.      උල්හාස් බාපට්
5.      තරුණ් භට්ටාචාර්‍යා
6.      රාහුල් ශර්මා
7.      අභය් සෝපෝරී
දැන් අපි බලමු ලංකාවේ සන්තූර් වාදනය කරන්නේ කවුද කියලා.
1.      මහාචාර්‍ය, පණ්ඩිත් කරුණාරත්න කිරිවත්තුඩුව
2.      උපාලි අතුකෝරළ
3.      ආචාර්‍ය රෝහන වීරසිංහ
කිරිවත්තුඩුව මහතා භාරතයේ වසර 30ක් විතර ඉගෙනුම ලබනවා පණ්ඩිත් ශිව් කුමාර් ශර්මාගෙන්. එතුමාගේ වාදන මම ඇස් දෙකට ම දැකලා තියෙනවා වගේම, ළඟ ඉඳලා පරණ කතා, විෂය කරුණු වගේ දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. එතුමා සන්තූර් වගේ ම පඛාවාජ් කියන සංගීත භාණ්ඩයටත්, තබ්ලා, එස්‍රාජ් සහ දිල්රුබා යන සංගීත භාණ්ඩවලටත් එක වගේ ම දස්කම් දක්වනවා. දැනට සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ පඛාවාජ් පිළිබඳ ව බාහිර කථිකාචාර්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා.
ඔව් ! ඔබට නැගුණු ගැටළුව මට තේරුණා. එතුමා සන්තූර් උගන්වන්නේ නැද්ද? අවස්ථාවක් හිමි නොවුණු එතුමා ස්වකීය නිවසේ නිරන්තරව අභ්‍යාසයේ යෙදෙමින් තම සැඳෑ සමය ගත කරනවා. එතුමා තමා මේ විෂය පිළිබඳව ලංකාවේ ඉන්න ප්‍රවීණත ම සහ එක ම ශිල්පියා. ඒත් මොනවා කරන්න ද? මේ ලිපිය ලියවෙන දිනයට දින 5කට පස්සේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පණ්ඩිත් ශිව් කුමාර් ශර්මා සහ රාහුල් ශර්මා යන අග්‍රගන්‍ය සන්තූර් වාදන ශිල්පීන්ගේ ප්‍රසංගයකුත් පැවැත්වෙනවා.(2019.08.15)
මෙහි සඳහන් දෙවෙනි වාද්‍ය ශිල්පියා ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න ශිල්පියෙක්. එතුමා ‘ජල තරංග’ කියන වාද්‍ය භාණ්ඩයත් වාදනය කරනවා. තුන්වැනියා නම් හැමෝම දන්නවා. සංගීත අධ්‍යක්ෂ, රෝහන වීරසිංහ මහතා. එතුමාත් සන්තූර් වාදනය කරලා තියනවා කියලා එතුමා මට පවසලා තියෙනවා. දැන් අපි බලමු සන්තූර් කියන වාද්‍ය භාණ්ඩය උපයෝගී කරගත් සරල ගීත කිහිපයක්, හින්දි සහ සිංහල.

1.      ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ගුණදාස කපුගේ

2.      දෙනුවර මින් පසු - සෝමතිලක ජයමහ සහ පුණ්‍යා කත්‍රිආරච්චි

1.      E Dil E Nadan – Lata Mangeshkar
2.      Tum Agar Saath Dene Ka Vaada Karo – Mahendra Kapoor

අවසාන වශයෙන් ඉතින් කියන්න තියන්නේ, මේ භාණ්ඩය ලංකාවේ නම් අහන්න දකින්න විරල සංගීත භාණ්ඩයක් නිසා අන්තර්ජාලය හරහා මේ ගැන තව විස්තර හොයන්න. බොහොම ආකර්ෂණීය නාදයක් තියෙන නිසා මේ භාණ්ඩය සංගීත චිකිත්සාව සඳහා භාවිත කරනවා. භාවනා සංගීතය සඳහාත් මේ භාණ්ඩය භාවිත කරනවා.
මම මේ ලිපියේ දක්වලා තියෙන විස්තරවල අඩුපාඩුවක් වැරැද්දක් තියෙනවා නම් දන්වන්න. මේ ගැන ගැටළු තියෙනවා නම් යොමු කරන්න. සංගීත විෂයෙහි උන්නතිය උදෙසා කළ හැකි සියලු ම දේ කරනවා සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා ඔබගේ නොමද සහාය ද බලාපොරොත්තුවෙන ගමන්, සංගීත විෂය හා සම්බන්ධ තවත් ලිපියකින් හමුවෙන තුරු සියලු දෙනාට ජය පතනවා !
තුණ් සරණයි !

මම,
පමල්ක මන්ජිත කරුණානායක (මංචි)
[සංගීත් නිපුන්, වාද්‍ය විශාරද, සංගීත් ප්‍රවීන්, සංගීත් අභිමානී, ජාතික යෞවන සම්මානලාභී, ප්‍රාසංගික කලාවේදී (විශේෂ) උපාධි විද්‍යාර්ථී]

ප.ලි. - මේ තියන්නෙ අර පස්සේ දානවා කිව්ව වීඩියෝවල  Youtube Links.

8 comments:

  1. ඉතාමත් දුර්ලභ ඝනයේ වැදගත් ලිපියක් සර්... ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏 !

    ReplyDelete
  2. මේ වගේ ලිපි තවත් ලියන්න පමල්ක.ඇත්තටම හරිම වැදගත්.ගොඩක් ස්තූතියි.👍

    ReplyDelete
  3. නියමයි පමල්ක අයියේ ❤ මමත් බොහෝ කරුණු දැනුම ලබාගත්තා...ඔබට ජය ❤

    ReplyDelete